15 December 2025

විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සභාපති යැං වංමින් අමාත්‍ය විජිත හේරත් හමුවෙයි

විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ (CPAFFC) සභාපති යැං වංමින්, 2025 දෙසැම්බර් 12 වැනි දින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවිය.

සමස්ථ ශ්‍රී ලංකාවටම බලපෑ මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිර සහ වටිනා සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ මුලපිරීම් සඳහා විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමය යුවාන් 500,000ක ප්‍රදානයක් ලබා දීමට අපේක්ෂා කරයි. මෙය දෙරට අතර දිගුකාලීන හා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවලට සාක්ෂියක් බවත්, අනාගතයේදී මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වී ශක්තිමත් ලෙස නැවත ගොඩනැගෙනු ඇතැයි විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමය විශ්වාසය පළ කළ අතර, මෙම උත්සාහයන් සඳහා චීනයේ සහයෝගය ද ලබා දීමට අදහස් කරන බව පැවසීය. නාගරික සැලසුම්කරණයට සහාය වීම සහ තරුණ ප්‍රජා හුවමාරු හරහා චීනය සහ ශ්‍රී ලංකාව අතර ජනතා සබඳතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සහාය දැක්වීමේ අභිප්‍රාය ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොං සහ අමාත්‍යාංශයේ, විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සහ කොළඹ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම රැස්වීමට සහභාගී වූහ.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ 
2025 දෙසැම්බර් 15 වැනි දින