15 December 2025

ජපාන ආපදා සහන (වෛද්‍ය කණ්ඩායම) අමාත්‍යාංශ නිලධාරීන් හමුවෙයි

ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඉවාසේ කිචිරෝ, නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්ක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානී සහ මහජන රාජ්‍යතාන්ත්‍රික සහ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ සමඟ අද (2025 දෙසැම්බර් 15) සුහද හමුවක් පැවැත්වීය. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජපාන ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ නියෝජිතයින් සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.

අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සාමාජිකයින් 31 දෙනෙකුගෙන් යුත් ආපදා සහන කණ්ඩායමක් යෙදවීමේදී ජපාන රජය දැක්වූ කඩිනම් ප්‍රතිචාරය අධ්‍යක්ෂ ජනරාල් පානබොක්ක අගය කළ අතර, දිට්වා සුළි කුණාටුවෙන් පසු ජපානය දැක්වූ සහයෝගීතාව වෙනුවෙන් කෘතඥතාව පළ කළාය.

ජපාන ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඉවාසේ කිචිරෝ, කණ්ඩායම ක්‍රියාන්විතයේ යෙදවීමේදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍යාංශයට සිය කෘතඥතාව පළ කළේය. එවැනි සහයෝගය දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කරන බව තවදුරටත් අවධාරණය කෙරිණි.

අධ්‍යක්ෂ ජනරාල් රොද්‍රිගෝ සිය කෘතඥතාව පළ කරමින්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සැපයීම ඇතුළුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) සහ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියෙන් ඉල්ලා සිටියේය.

ජපාන ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ වෛද්‍ය මෙහෙයුම් පිළිබඳ සාරාංශ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කළහ. 

හලාවත ප්‍රදේශයේ වෛද්‍ය මෙහෙයුම් සාර්ථකව නිම කිරීමෙන් පසු, ජපාන ආපදා සහන වෛද්‍ය කණ්ඩායම 2025 දෙසැම්බර් 16 වැනි දින ආපසු ජපානයට පිටත්ව යාමට නියමිතව ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ
2025 දෙසැම්බර් 15 වැනි දින