ශ්‍රී ලංකාව සහ ඉතාලිය දෙරටේ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කරයි
2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා දින, ඉතාලියේ රෝම නගරයේදී, ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය විසින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම විධිමත් ලෙස අලුත් කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ ගිවිසුමට අත්සන් තැබූ අතර, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්රිපොදි ඉතාලි රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවාය.
2021 දී ගිවිසුම කල් ඉකුත් වීමෙන් අනතුරුව, එය නැවත අලුත් කිරීම සඳහා දෙරටේ මෝටර් රථ ප්‍රවාහන / ගමනාගමන බලධාරීන් අතර සාකච්ඡා ක්‍රියාවලිය අවසන් කිරීම මෙම ගිවිසුම මගින් සනිටුහන් වේ. මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින් එක් එක් රටෙහි ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර දෙරටෙහිදීම වලංගු වීමේ හැකියාව සලසයි. මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011 දී අත්සන් කරන ලද අතර එය 2021 දී කල් ඉකුත් වීමට පෙර 2016 දී අලුත් කරන ලදී.
ගිවිසුම යටතේ, වසර හයක කාලයක් තුළ අදාළ රටවල පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය අනෙක් රට තුළ භාවිතා කිරීමේ හැකියාව ලැබෙයි. මෙම පහසුකම ඉතාලියේ පදිංචිව සිටින සහ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් බෙහෙවින් අගය කර ඇති අතර ඵලදායී විදේශගත ප්‍රජාවක් ලෙස ඉතාලිය තුළ ඔවුන්ගේ දායකත්වයට පහසුකම් සලසමින්, මෙම ගිවිසුම ඔවුන්ගේ රැකියා අපේක්ෂාවන් සහ අනාගත රැකියා අවස්ථාවන් වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ.
ගිවිසුම වසර පහක කාලයක් සඳහා වලංගු වේ. රජයන් ද්විත්වය විසින් අනුමත කළ පසු, ගිවිසුම දින 60ක කාලයක් ඇතුළත බලාත්මක වනු ඇත. ගිවිසුම බලාත්මක වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයම නිවේදනයක් නිකුත් කරනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 දෙසැම්බර් 12 වැනි දින

