
2025 සැප්තැම්බර් 26 වැනි දින ජිනීවාහි පැවති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ (CED) 29 වැනි සැසිවාරයේදී, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර නායකත්වය ලබා දුන්නේය.
සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපුර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) යන ආයතන විසින් අඛණ්ඩ ක්‍රියාත්මක කෙරෙන කටයුතු සහ මේ සම්බන්ධයෙන් ජාතික අධිකාරීන් විසින් ගනු ලබන ශක්තිමත් ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය නානායක්කාර සිය ආරම්භක දේශනයේදී නැවත අවධාරණය කළේය.
මහජන විශ්වාසය තහවුරු කිරීම සහ දේශපාලන, ආර්ථික සහ සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම අරමුණු කරගත් රජයේ දැක්ම අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය. මේ සම්බන්ධයෙන්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව සමඟ සම්බන්ධ වීම හුදෙක් වාර්තා කිරීමේ වගකීමක් පමණක් නොව, ජාතික රාමු ශක්තිමත් කිරීමට, වගවීම තහවුරු කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියලු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා වන බවට සහතික කිරීමේ අවස්ථාවක් බව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව, 2015 වසරේදී, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබූ අතර 2016 වසරේදී එය අපරානුමත කළේය. 2006 වසරේදී සම්මුතිය සකස් කර එය බලාත්මක වීමට පෙර සිටම අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන පිළිවෙත අමාත්‍ය නානායක්කාර අවධාරණය කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජිනීවාහිදී අමාත්‍ය නානායක්කාර සමඟ එක් වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, හානිපුර්ණය සඳහා වන කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) යන ආයතනවල අනෙකුත් නිලධාරීන් කොළඹ සිට මාර්ගගත ලෙස සමාලෝචනයට සම්බන්ධ විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 30 වැනි දින

